Wednesday, January 18, 2023

සතර අභිනයන්ගේ අර්ථ විග්‍රහය

සතර අභිනයන්ගේ අර්ථ විග්‍රහය

  ‘අභිනය’ යන්න භාරතීය නාට්‍ය ශාස්ත්‍රයට අයත් පාරිභාෂිත වචනයකි. සංස්කෘත නාට්‍යක් රඟ දැක්වීමේ දී නළුවන් විසින් ප්‍රේක්ෂකයා ඉදිරියේ විවිධ වූ කරුණු මවා පෑමේ දී ඔවුන් විසින් උපයෝගී කොට ගනු ලබන විවිධ උපක්‍රම හැඳින්වීම සඳහා සංස්කෘත නාට්‍යයේ භාවිත වන පොදු නාමය අභිනය යන්නයි.

     ‘අභි’ පූර්ව  ‘නි’ (ගෙන යාමෙහි පැමිණවීමෙහි , මඟ පෙන්වීමෙහි) ධාතුවෙන් නිපන් මෙම  ‘අභිනය’ යන්නෙන් අදහස් කෙරෙන්නේ (අභි) ගෙන - යාම (නය) යි.

    නාට්‍ය ශාස්ත්‍රය, දර්ශරූපකය හා සාහිත්‍යය දර්පනය වැනි නාට්‍ය විචාර ග්‍රන්ථයන්හි අභිනය පිළිබඳ විස්තර දැක්වෙන අතර අභිනය සහිත වූ නාට්‍යය දුකට පත්වූවන්ට, වෙහෙස මහන්සි වුවන්ට, ශෝකයෙන් පෙළෙන්නන්ට විශ්‍රාන්තිය හෙවත් විනෝදය දැනවීම පිණිස නිර්මාණය කරන ලද බව නාට්‍ය ශාස්ත්‍රයේ දැක්වෙයි.

   ‘....... දුඃඛාර්තානං ශ්‍රමාර්තානාං ශෝකාර්තානාං

තපස්විනාම්

විග්‍රාන්තිජනනං කාලෙ නාට්‍යමෙතන්මයා කෘතම් ’

     අභිනය වනාහි රසභාවාදිය අඟවන හැසිරීම් වෙහෙසකැයි මල්ලිනාථයෝ පවසත්,

 ‘..... අභිනයෝ රසභාවාදිවණඤ්ජක චෙෂ්ටා විශේෂඃ ’

    මේ නිර්වචනයෙන් එහි මූලික අදහස වඩාත් පිළිඹිබු වේ. වෙස් බැඳගත් නළු- නිළියන්ගේ වචන, ගීත, ආදිය ඇසීමෙන් ද ඔවුන්ගේ රැඟුම්, මුහුණුවල විලාසය හා වෙනත් චෙෂ්ටා බැල්මෙන් ද ප්‍රෙක්ෂකයා තුළ කිසියම් රසයක් උපදී. ඒ රසය ඔහු වෙත පැණෙන්නේ නළු නිළියන්ගේ වෙස් , වචන, රැඟුම්, මුඛරූඪ විලාසය ආදියෙනි. රසය උපදින මේ සියල්ලන්ට අභිනය යැයි කියනු ලැබේ.

    අභිනය සිව්වැදෑම් බව භරතමුනිහු මෙන් ම නන්දිකේශ්වරයෝ ද සඳහන් කරයි. ඒ අනුව, අත්,පා වැනි අංගයන්ගේ චලනවලින් අදහස් ප්‍රකාශ කිරීම ආංගික අභිනය ලෙසින් ද, ළුවන් විසින් උච්චාරණය කරනු ලබනු සියලු දෙබස් හා ගීත වාචික අභිනය ලෙසින් ද, මුහුණින් හා සිරුරෙන් සිදු කරන සියුම් භාව ප්‍රකාශනය සාත්වික අභිනය ලෙසින් ද, නළුවාගේ ඇඳුම් පැළඳුම් හා වේෂ නිරූපණය ආහාර්ය අභිනය ලෙසින් ද, අර්ථ දැක්විය හැක.

    මේ එක් එක් අභිනයන්ගෙන් කියැවෙන්නේ කුමක්දැයි විමසා බලමු.

     ආංගික අභිනය

    නාට්‍යක ඒ ඒ අවස්ථා හා ඒ ඒ භාව නිරූපණය කිරීමේ දී නළු නිළියන් විසින් ශරීරාවයන්ගෙන් කරනු ලබන ක්‍රියා, අංග චලන හා ඉරියව් ආංගික අභිනය අභිනය නම් වේ. මෙය අවස්ථාවටත්,භාවයටත්,නිෂ්පත්තියටත් උපකාරී වේ.

    ආංගිකාභිනය යන්නෙන් අදහස් කෙරෙන්නේ අංග චලනයන්ගෙන් පානා අභිනය යන්නයි. ඔලුව, ඇහිබැමි, ඇස් පිහාටු, ඇස් ගුලි, බෙල්ල ආදිය නැටවීම ද, බැලුම් හෙලීම හා හස්ත මුද්‍රා පෑම ද යමක් කිරීම ද නැටුම් මාර්ගයෙන් යම් යම් දෑ නිරූපණය කිරීම ද මීට අයත් වේ. නිදසුන් ලෙස මල් නෙලීම, අසුපිට යාම, පඩිපෙළ නැගීම හා ගඟෙන් එතෙර වීම දැක්වීම හැකිය.

   

        වාචික අභිනය

       වචන මාර්ගයෙන් පානා අභිනය වාචික අභිනයයි. සෙසු අභිනයන් වූ ආංගික, සාත්වික හා ආහාර්ය අභිනයන් තුළින් කෙරෙන්නේ වචනවල අර්ථය උද්දීපනය කිරීම හෙයින් වාචිකාභිනය නාට්‍යයේ ශරීරය බව භරතමුනිහු පවසති.

     වාචිකාභිනය යන්නෙන් අදහස් කෙරෙන්නේ නාට්‍යක දී භාවිත වන දෙබස් පමණක් ම නොවේ. නාට්‍යක කලාවේ සම්පූර්ණ සාහිත්‍යය පක්ෂයම ඊට අයත්ය. (අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ, ඡන්දස්, අලංකාර,කාව්‍ය දෝෂ) එහෙත් ව්‍යවහාරයේ දී චාචිකාභිනය වශයෙන් ගැනුයේ වචනවල මාර්ගයෙන් භාවයන් ප්‍රකාශ කිරීමේ දී උපයෝගී කොට ගත යුතු උච්ඡාරණය, කටහඬ, ස්වරය, තාලය, ලය යනාදිය යි.

    සාත්වික අභිනය

        සාත්වික අභිනය යනුවෙන් අදහස් කරන්නේ සාත්විකභාවයෙන් නිරූපණය කිරීමේ දක්ෂතා ඇති අය විසින් සාත්වික භාවයන් නිරූපණය කිරීමයි.

         
මුහුණේ පෙනුම
, කටහඬ යනාදිය වෙනස් කිරීම හා වෙනත් ශාරීරික විකෘති ආදිය මඟින් සිතෙහි හට ගන්නා සතුට දුක ආදී හැඟීම් ප්‍රකාඔ කිරීම සාත්වික අභිනයයි. සිතෙහි පහළ වන විවිධ හැඟිම් හා චිත්ත ප්‍රවෘත්ති ඉබේම ඇතිවන ශාරීරික විකෘති අතුරින් සමහරක් තෝරා ඒවා ඒ ඒ මනෝභාවයන් හැදින්වීම සඳහා සංකේත වශයෙන් යොදා ගනු ලැබේ. නළුවා තම සිරුරෙහි ආරූඪ කර ගන්නා මේ සංකේත සාත්වික අභිනයයි. මේ සාත්විකභාවයන් නිරූපණය කරන නළුවා සඳහා දැඩි චිත්ත සංයමයක් තිබිය යුතුය.

   

     ආහාර්ය අභිනය

            මාල, වළලු හා ඇඳුම් පැළඳුම්වලින් වේෂ නිරූපණය කිරීම ආහාර්ය අභිනය බව නන්දිකේෂ්වරයෝ සඳහන් කරයි. නළුවාට රඟපෑම සඳහා උපකාර වන නාට්‍ය උපකරණ, ඇඳුම් පැළදුම් හා අංග රචනා වැනි භාහිර සාධක මෙයට අයත් වේ. එහෙයින් එය බැහැරින් ගෙනා අරුත් දෙන ආහාර්ය අභිනය යනුවෙන් හැඳින්වේ. නාට්‍යයේ රසයට අනුකූල වූ පසුබිමක් සෑදීම සඳහා නළු නිළියන් වෙස්වලා ගැනීම ද රඟපෑමේ දී කඩු, පලස්, අසුන් ආදිය පාවිච්චි කිරීම ද ආහාර්ය අභිනය නම් වේ.

 


උඩරට නර්තන සම්ප්‍රදාය

            උඩරට නර්තන සම්ප්‍රදාය සත් කෝරළය සතර කෝරළය උඩුනුවර යටිනුවර දුම්බර හේවාහැට ආදී ප්‍රදේශවල ප්‍රචලිතය. මෙම සම්ප්‍රදාය භාවිතා වන ප්‍රධ...